බ්ලැක් බියුටි කුරුණෑගලින් ඈත් වෙන්න ඈත් වෙන්න තාත්තාගෙ කලබල මුහුණ සන්සුන් වුණා. අපේ දුර ගමන් හැම එකක්ම මෙහෙමයි. එක තැනක ඉන්නකොට හැමතිස්සෙම වලිගෙ ගිනිගත්තු හනුමා වගේ ඉන්න තාත්තා, පාරෙදි හරිම සන්සුන්. විනෝදයි. ( පස්ස ගිනිගත්තු හනුමා කියල තාත්තට කිව්වෙ අපි කුරුණෑගල ඉන්නකොට නැවතිලා හිටපු ගෙදර අයිතිකාර දර්ශන මාමා බැඳල හිටපු නැන්දා.. එයා හරි හොඳයි. එක එක රස කෑම හදන විදිය කියලා දෙනවා මට.. මම එයා හදන අච්චාරු වලට හරිම ආසයි. )
තාත්තා එක්ක යන දුර ගමන් වලට ප්‍රිය කරන්න තවත් හේතුවක් තමයි රස කෑම.. අපිට නවතින්න කියල තැනක් හරියට නැති නිසා කෑම උයනවා අඩුයි. ටවුමක නතර කරලා කැමති දෙයක් අරන් කනවා. සමහර වෙලාවට තාත්තා බ්ලැක් බියුටිගෙ නම්බර් ප්ලේට් එක මාරු කරනකං මම තේ හදනවා. තාත්තා කියන්නෙ හැම ගමනකදිම නම්බර් ප්ලේට් මාරු කරන එක වැදගත් කියලයි. නැත්තම් මිනිස්සු අපිව සැක කරාවිලු. අන්න ඒකයි, අපි පැනල යනවා කියල මම කියන්නෙ.. ඒත් කාගෙන්ද? ඒක කවදාවත් තාත්තා උත්තර දෙන්නෙ නැති ප්‍රශ්නයක්.
අපි නිතරම ගමනේ යෙදෙන නිසා මම ලංකාවෙ පාරවල් ගැන දන්නවා. අපි නුවර පාර දිගේ කුරුණෑගල ටවුම පැත්තට නෙමෙයි, නුවර පැත්තට ගියා. මාවතගම පහු කරල පරපේ පාරට දැම්මා. මීතැන්වල, වටරැක පහු කරගෙන නයෙක් වගේ පාලු පාරක් දිගේ රඹුක්කනට ආවා. ඊටපස්සෙ තෙත මඩ තියෙන කුඹුරු පහුකරගෙන, රූස්ස ගස් කොළන් වලින් වට වෙච්ච පාරක් දිගේ ඉස්සරහටම ගියා. එච්චර එළිමහනක් නැති තැනක බ්ලැක් බියුටි නතර කල තාත්තා දෙවැනි පාරටත් නම්බර් ප්ලේට් එක මාරු කලා. ඊට පස්සෙ වාහනේට නැගල ආයෙත් ඉස්සරහට යන්න ගත්තා.
පින්නවල අලි අනාථාගාරය අසල තිබුණු හෝටලයක් ඉස්සරහ බ්ලැක් බියුටි නතර කරපු තාත්තා මාව වාහනේ ඇතුළෙම තියලා හෝටලේ ඇතුළට ගියා. ටික වෙලාවකින් සේවකයෙක් වගේ පෙනුණු කෙනෙක් සමඟ ආපහු ඇවිත් අපේ බඩු බාහිරාදිය හෝටලය ඇතුළට ගෙනියන්න පටන් ගත්තා. එහෙනම්, අපේ ඊළඟ නැවතුම කෑගල්ල.. මම මගේ පුංචි ලංකා සිතියම දිහා බලාගෙන හිතුවා.
ඒත් මේක පුදුමයක්. අපි සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර ගමනෙ යෙදිලා තමයි නවතින්න තැනක් හොයාගන්නේ. අද එහෙම නෑ. මම පුදුමෙන් තාත්තා දිහා බල බල මගේ බෑග් එකකුත් අරන් සේවකයා පස්සෙන් යනවා..

No comments:
Post a Comment