Tuesday, January 10, 2017

එදා වැස්ස දවසක්..

මම පොඩි කාලෙ ඉඳලම වැස්සට අකමැතියි. සීතල, තෙත පොළොව, වැහි අඳුර, කූඩැල්ලො.. මාව හිරිවට්ටනව. ඒක නිසයි මට හිතෙන්නෙ මම පූස් ගති තියෙන කෙනෙක් කියල. වැස්ස දවසට මම කැමති චක් වගේ උණුසුම් බෝලයක් වෙලා රස්නෙට ඉන්නයි. එළියට බැහැල, වැස්සෙ සුන්දරත්වය විඳින්න මට කිසිම ඕනෙ කමක් නෑ.


මේ හේතුවලට අමතරව වැස්සට අකමැති වෙන්න තවත් හේතුවක් තියෙනවා. මම අකමැති සිදුවීම් හැම එකක්ම පාහේ සිද්ධ වුණේ වැස්ස දවස්වල. වැස්සත් මගේ සතුටත් අතරෙ තියෙන්නෙ එතරම් හොඳ සම්බන්ධයක් නෙමෙයි. අහස කළු කරල වැහි වතුර පොළොවට කඩා වැටෙන හැම වෙලාවකම මම වැස්සට කොච්චර අකමැති ද කියලා මට මතක් වෙනවා. ඒ වගේම වැස්ස දවස්වල සිදු වුණු අඳුරු සිදුවීම් හැම එකකම මතකයන් ලේ උරා බොන කූඩැල්ලො වගේ මගේ හිත ඇතුළට ඇදෙනවා.

එදත් අද වගේම වැස්ස දවසක්.. අවුරුදු හතරකට කලින්, චක් අපේ ගෙදරට එන්නත් ඉස්සෙල්ලා. දවස් දෙකක් තිස්සෙ අහස කළු කරල, ගොරව ගොරව පොළොවට එක දිගටම  ඇද හැලුණු වැස්ස හවස් වෙනකොට තරමක් තුරල් කරල තිබුණා. ඒත් හරිම මූසල අඳුරක් පරිසරයෙ තැවරිලා. කුරුල්ලො කෑ ගහන සද්දයක්වත් ඇහුණෙ නෑ. වැහි වතුරට පෙඟිච්ච පිහාටු ඇඟේ රස්නෙන් වේලා ගනිමින් කුරුල්ලො හැමෝම කූඩු වලට වෙලා ගුලි වෙලා ඉන්නව ඇති.

එතකොට තමයි ටෙලිෆෝන් එක වදින සද්දෙ ඇහුණෙ.. මම ඉක්මණට එතැනට දුවල ගිහින් රිසීවරය කණට තියාගත්තා. රිසීවරයෙ වයර් එක දිගේ මගේ කණට ආපු කටහඬේ තැවරිච්ච බය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. තවමත් මට හීනෙන් ඒ කටහඬ ඇහෙනවා. මගේ මුළු ඇඟම දහඩියෙන් තෙත් කරවන ඒ බියකරු මතකය එක්ක මම නිදි නැති රැයවල් ගණනාවක් පහන් කරල තියෙනවා. ඒ කටහඬ මතක් වෙන හැම වාරයක් ගාණෙම මිනිස්සු කොච්චර අසරණ ද කියල මට ආයෙ ආයෙම හිතෙනවා. අවුරුදු හතරකට පස්සෙත් මට ඒ කටහඬ අද වගේ මතකයි. 

"පුතේ, මම නිහාල් මාමා.. තාත්තාට කියන්න වැස්ස වෙලාවට කුරුල්ලො පියාඹන්නෙ නෑ කියලා.."
වයර් එක දිගේ ආපු කටහඬ හති දමමින් මට කිව්වා.. ඒ එක්කම ඇහුණු දරුණු විලාපයත් එක්ක දුරකථනය විසන්ධි වුණා.




No comments:

Post a Comment