"ඔයාගෙ බෑග් එක අහුරාගන්න පුතේ. අපිට දිග ගමනක් යන්න තියෙනවා.." කියන වචන මට අලුත් දෙයක් නෙමෙයි. මගෙ ජීවිතේ සිය පාරකට වඩා මම මේ වචන අහල තියෙනවා. මට මතක ඇති කාලෙ ඉඳලා තාත්තායි මමයි මෙහෙම දිග ගමන් ගිහිල්ල තියෙනවා.. ඉස්කෝලෙ කළු ලෑල්ලෙ ඇඳපු කුරුටු බලි චිත්‍රයක්, ගෙදරට ආපු ලියුමක්, ගෙදර මිදුලෙ පිළිවෙලට අහුරපු ගල් කැට ටිකක්, උපන්දිනේට මගේ යාළුවෙක් දුන්නු කාඩ් එකක්.. මේ වගේ පොඩි දෙයක් සිද්ධ වුණු හැටියෙ අපි බෑග් එක අහුරගෙන දිග ගමන් යනවා. "දිග ගමනක්" කියන වචන දෙක ඇහුණු ගමන් බෑග් එක අහුරාගන්න විදිය තාත්තා උගන්වනකොට මට අවුරුදු හතරයි.
මාසෙකට එක පාරක් හරි සිද්ධවෙන මේ දිග ගමන් හින්දා අපිට ගෙදරක් කියලා තැනක් තිබුණෙ නෑ. මම එක දිගට ඉස්කෝලෙ ගිහිල්ලත් නෑ. ඒක ලොකු ගැටළුවක් වුණේ නැත්තෙ මට වැදගත් හැම දෙයක්ම තාත්තා උගන්වන හින්දා. මට වයස කීයද කියල මතකයක් නැති කාලෙ තාත්තා මාව දින කීපයක් ඉස්කෝලෙ යැව්වා. ඒත් අර කුරුටු බලි චිත්‍රෙ ගැන මම ඉස්කෝලෙ ඇරිලා ඇවිත් තාත්තාට කිව්වාම අපි ආයෙත් දිග ගමනක් ගියා. යාලුවොත් නැති නිසා ඉස්කෝලෙට මම එච්චර කැමති නෑ කොහොමත්. ඒ නිසා ඒක හොඳයි.
මේ විදියට දිග ගමන් යාම ගැන මට දුක හිතුණෙ එකම එක පාරක් විතරයි. එදා මගේ නමට ආපු වෙසක් කාඩ් එකක් දැකල තාත්තා දිග ගමනක් යන්න තීරණය කලා. වෙසක් කාඩ් එක එවල තිබුණෙ "මයුරි නැන්දා" කියලා කෙනෙක්. එහෙම කෙනෙක් මම දන්නෙ නෑ. ඒ කවුද කියල පුදුම වෙමින් ඉන්න අතරෙ, තාත්තා කිව්වා බෑග් අහුරාගන්න කියලා. මට දුක හිතුණෙ සතියකට කලින් මම පාරෙ ඉඳලා අරගෙන ආව වට්ටක්කා ගෙඩිය දාලා යන්න වෙන නිසා.
වට්ටක්කා ගෙඩිය කියන්නෙ පූසෙක්. වට්ටක්කා ගෙඩියක පාට ලොම් තියෙන පූසෙක්.. බෑග් අහුරාගන්න කියන විධානය ඇහුණාම මම වට්ටක්කා ගෙඩිය දිහා බැලුවා. තාත්තා මගේ හිත කියෙව්වා වගේ, "වට්ටක්කා ගෙඩිය තියල යමු.." කිව්වා. ජීවිතේ පළවෙනි වතාවට තාත්තාට වෙසක් කාඩ් එක වගේ අමුතු දේවල් ගැන දැනුම්දීම ගැන මට පසුතැවිල්ලක් ඇතිවුණා. නොකිව්වා නම් වට්ටක්ක ගෙඩිය මගේ ළඟනෙ..
වෙසක් කාඩ්, ලියුම්, දුරකථන ඇමතුම්.. මේ හැම දෙයක් ම ලැබෙන්නෙ මටයි. මිදුලෙ හිටවපු පඹයො, ගල් කැට වලින් හදපු රටා.. තව, ඉස්කෝලෙ ඇඳල තිබුණු කුරුටු බලි චිත්‍රය.. හොයාගත්තෙ මමයි. ඒ හැම දෙයක් ම තාත්තාට කිව්වාම එයාගෙ මුහුණ සුදුමැලි වෙනවා. තාත්තා මට කියලා තියෙන්නෙ මෙහෙම අමුතු දේවල් අමතක නොකර එයාට කියන්න කියලයි.
මේ දේවල් හිතන ගමන්, දඩි බිඩි ගාලා මගේ ඇඳුම් පැළඳුම්, සපත්තු, පොත් කීපය හා අනෙක් බඩු බෑග් එකට පුරවගත්තු මම විනාඩි දහයක් යන්න කලින් දිග ගමනට සූදානම් වෙලා දොර ගාව හිටගෙන හිටියා.

No comments:
Post a Comment