ඇට මිදුළු හිරිවට්ටන සීතල ගැන මොහොතකට අමතක කරලා මම කුස්සියට ගියේ කෝපි හදන්න කේතලේ ලිපේ තියන්නයි. හවස හැමුව දරුණු කුණාටුවට ලයිට් කණුවක් කඩා වැටිලා. කාටවත්ම විදුලිය නැහැ. චිරි චිරි ගගා වැක්කෙරෙන වැස්ස නිසා එළියට බහින්නත් බෑ. ඒත් බඩගින්න ඉවසගෙන ඉන්නත් අමාරුයි. කුස්සියෙ කබඩ් එකේ තිබිලා දවස් දෙකකට කලින් ගෙනාපු පාන් ගෙඩියක් හම්බුණා. ඒකයි අපි තීරණය කළේ පාන් කාලා කෝපි බොන්න. අපි ඔක්කොම පස් දෙනෙක් හිටියා. චක්, රපුන්සල්, ෂැගී, චබී සහ මම..
චක් තමයි මේ හැමෝම අතරින් වැඩිමල්ම කෙනා, මම ඇරුණහම. එයා රත්තරන් පාට ලොම් තියෙන ලස්සන පූසෙක්. ලිපේ දර වලින් විහිදෙන තැඹිලි පාට ගිනි දැල් නිසා චක්ගේ රත්තරන් පාට ලොම් දිලිසෙනවා. සීතල වැස්ස වෙලාවක වුණත් ලිප ළඟ පිළිවෙලට ඉඳගෙන ඉන්න චක් දැක්කාම උණුසුම් ප්‍රීතිදායක හැඟීමක් ජනිත වෙනවා.
රපුන්සල් අහිංසක හාවියක්. එයා තමයි මෙතන ඉන්න අයගෙන් පොඩිම කෙනා. එයාගෙ ලොම් කළුයි සුදුයි. අපේ ගෙදර මිදුලේ එයාට ලස්සන ගෙයක් හදලා තිබුණත්, මේ දවස්වල වැස්ස හින්දා එයා ඉන්නේ අපි එක්ක අපේ ගේ ඇතුළේ.. ලිප ළඟ හිටගෙන ඉන්න මගේ කකුලකට හේත්තු වෙලා රපුන්සල් ඉන්නේ සීතලෙන් වගේම බඩගින්නෙන්.
ෂැගී සහ චබී බල්ලන් දෙන්නෙක්. කළු, සුදු, දුඹුරු ලොම් ඇති ෂැගී සහ කිරි තේ පාට ලොම් ඇති චබී ටිකක් ඈතට වෙන්න බිම ඉඳගෙන ඉන්නෙ මම කෝපි හදනකල්.
කේතලේ පැහෙනකම් මම ෆ්‍රිජ් එක පරික්ෂා කලේ පාන් එක්ක කන්න දෙයක් හොයා ගන්නයි. මුල්ලකට වෙන්න තිබුණු ටින් එකක් ඇතුළෙ තිබුණෙ බටර්. මම පිහිය අරගෙන පාන් ගෙඩිය පෙති පෙති කැපුවා. ඊට පස්සෙ බටර් තැවරුවා. ඊට පස්සෙ සීනි ඉස්සා. නටපු උණු වතුරෙන් කෝපි හැදුවා. දැන් තියෙන්නෙ කන්නයි..
මල් මල් පිඟානක බටර් ගාලා සීනි ඉහපු පාන් පෙති ලස්සනට තියලා, කෝපි දාපු මග් එකත් අරන් මම සාලෙට ගියා. චක්, රපුන්සල්, ෂැගී සහ චබී මගේ පිටිපස්සෙන් පෝළිමට ආවා. චක්ට පාන් පෙත්තයි, රපුන්සල්ට පාන් පෙත්තයි, ෂැගීට පාන් පෙති දෙකයි, චබීටත් පාන් පෙති දෙකයි. ඊට පස්සෙ මම මගේ පාන් පෙති දෙක කන ගමන් කෝපි බොන්න පටන් ගත්තා.
එතකොටයි මට මතක් වුණේ, එදත් වැස්ස දවසක්..
No comments:
Post a Comment