ටෙලිෆෝන් රිසීවරය කණට තියාගත්තු ගමන්ම මම ගල් ගැහුණා. මගේ අත පය හොලවන්න බැරි ගතියක් දැනුණා. මගේ කන් වලට ආයෙත් ඒ විලාපය ඇහෙනවා වගේ දැනුණ නිසා මම රිසීවරයෙන් ඇත්තටම හඬක් නික්මෙනවාද කියලා කන් දීගෙන හිටියා. ඒක මගේ හිතේ ඇතිවුණු මායාවක් බව වැටහෙන්න මට ටිකක් වෙලා ගතවුණා. මොකක්ද මේ දැන් මට ඇහුණෙ? මම කල්පනා කරන්න උත්සාහ කලා.
ඒ වචන.., භීතියෙන් කළ කෑ ගැහීම.. කවුද නිහාල් මාමා කියන්නෙ? මම එහෙම කෙනෙක් ගැන අහලා නෑනෙ. එයාට එච්චර බයෙන් කෑ ගහන්න හේතුව මොකක්ද? මම තවමත් රිසීවරය කණට තියාගෙන ගල් ගැහිලා කල්පනා කලා.
"කවුද කතා කලේ?"
තාත්තාගේ කටහඬෙන් මම ගැස්සිලා ආයෙත් පියවි ලෝකයට ආවා.
"නි..නිහාල් මාමා.. එයාට මොකක් හරි කරදරයක්..ලොකු කරදරයක්.. තාත්තෙ, එයා කෑ ගැහුවා.. වැස්ස.. වැස්ස වෙලාවට කුරුල්ලො පියාඹන්නෙ නෑලු.. තාත්තාට කියන්න කිව්වා.."
මම ගොත ගැහුවා.. තාත්තාගේ ඇස් ටිකෙන් ටික පුදුමයෙන් විශාල වෙන හැටි දැකලා මට ගොත ගැහුණා.
"ආයෙත් කියන්න.. කලබල නැතුව, මොකක්ද කිව්වෙ නිහාල් මාමා? මට හරියටම කියන්න.."
තාත්තා ඇහුවා.
"වැස්ස වෙලාවට කුරුල්ලො පියාඹන්නෙ නෑ කියලා තාත්තාට කියන්න කිව්වා. ඊට පස්සෙ එයා කෑ ගැහුවා.."
මම කිව්වා.
"මොකක් කියලද කෑ ගැහුවේ?"
තාත්තා ආයෙත් ඇහුවා.
"මට හරියටම ඇහුණෙ නෑ.. වචන දෙකක්.."
මම කල්පනා කලා.
"මතක් කරන්න බලන්න පුතේ ? මොනවද ඒ වචන දෙක.. මොනවා කියලද කෑ ගැහුවේ?"
තාත්තා මගේ උරහිසෙන් අල්ලලා හෙලෙව්වා..
"මතක නෑ තාත්තේ.."
මම කිව්වා.
බලාපොරොත්තු සුන් වුණු විදියට ඔළුවේ අත ගහගත්තු තාත්තා ටෙලිෆෝන් එක ළඟ පුටුවට කඩා වැටුණා. මොහොතකින් කරන්ට් වැදුණා වගේ පුටුවෙන් නැගිටල, මගේ දිහාවට හැරිලා මෙහෙම කිව්වා.
"ඔයාගෙ බෑග් එක අහුරාගන්න පුතේ. අපිට දිග ගමනක් යන්න තියෙනවා.. ඕනෙම දේවල් විතරක් ගන්න.."

No comments:
Post a Comment