Tuesday, January 10, 2017

බ්ලැක් බියුටි

තාත්තයි මමයි හැමදාම දිග ගමන් ගියේ බ්ලැක් බියුටි එක්ක.. බ්ලැක් බියුටි කියන්නෙ කළු පැහැති ජීප් එකක්. මට මතක ඇති කාලෙ ඉඳලා එයා අපිත් එක්ක හිටියා. දිගු ගමන් වලට ඕනෙ කරන බ්ලැන්කට්, කෑම බීම, උයන්න පිහන්න ඕනෙ කරන උපකරණ, තාත්තාගෙ උපකරණ අඩංගු පෙට්ටි, ස්ලීපින් බෑග්ස්, කූඩාරම්, වගේ එකී මෙකී නොකී හැම දෙයක්ම බ්ලැක් බියුටි ඇතුළෙ පුරවලා තිබුණා. තාත්තාට හිතෙන ඕනෑම වෙලාවක අපිට පැනලා යන්න.. බ්ලැක් බියුටි සූදානමෙන් හිටියා.. (ඇත්තටම මේක එක්තරා විදියක පළා යෑමක් තමයි, ඒත් කාගෙන්ද? ඒක හැමදාම මගේ හිතේ  තිබුණ නොවිසඳුණු ප්‍රශ්නයක්..) 

බ්ලැක් බියුටි අපිට ගමනේ යෙදෙන්න සැපපහසු වාහනයක් වුණා විතරක් නෙමෙයි, රාත්‍රියට නතරවෙන්න තැනක් නොලැබුණු දාට අපි නිදාගත්තෙත් බ්ලැක් බියුටි ඇතුළේ. මම බ්ලැක් බියුටිගේ පිටුපස ආසනයේ බ්ලැන්කට් එකක් පොරොවාගෙන නිදාගන්න අතරෙ තාත්තා රියදුරු අසුනේ නිදා ගත්තා. එහෙම දවසට මට දොරේ ජනේලය හරහා අහසෙ පායපු තරු පෙනුණා. බ්ලැක් බියුටිගෙ ඇතුලෙ තාත්තායි මමයි ඉන්නකොට දැනෙන ආරක්ෂිත හැඟීමට මම කවදත් ප්‍රිය කලා.
තාත්තායි, මමයි, බ්ලැක් බියුටියි.. 

පොද වැටෙන හැන්දෑවෙ චිරිස් චිරිස් ගගා වතුර උඩ අඩිය තියමින් තාත්තා බ්ලැක් බියුටිගෙ ඇතුළට අපේ ඇඳුම් බෑග් පැටෙව්වා. ගොම්මන් අඳුර පරිසරය ගිලගන්නකොට අපි හුරුපුරුදු වටපිටාවෙන් ඈතට ඇදෙන්න ගත්තා. බ්ලැක් බියුටි තෙත තණකොළ මතින් මඩ වුණු පොළොව උඩ ටයර තෙරපමින් පාරට ඇදුණා.. තාත්තාත් මමත් තවත් දිගු ගමනක් ඇරඹුවා.

No comments:

Post a Comment