Wednesday, January 11, 2017

කුලී නිවැසියෝ

තරමක් වේලා ගතවූ පසු දර්ශන නැවතත් විසිත්ත කාමරයට පැමිණියේය. ඔහුට පිටුපසින් පැමිණි දර්ශනගේ බිරිඳ චොක්ලට් බිස්කට් ඇසිරූ තසිමක් වෙවුලන දෑතින් චක් වෙත පෑවාය. ඈ අත වූ බන්දේසියේ තේ කෝප්ප දෙකක් විය. බන්දේසිය චක් ඉදිරියේ වූ ටීපෝව මත තැබූ ඇය දර්ශන හිඳ සිටි පුටුවට පසෙකින් හිඳ ගත්තාය. සිදුව ඇති අපරාධයෙන් ඈ භීතියෙන් සසලව ඇති බවක් දිස්විය.

"අම්ම මුත්තා කාලෙවත් මෙහෙම දෙයක් වෙලා නෑනෙ අපේ ගමේ.. මිනිස්සු වයසට ගිහින් මැරෙනව, ලෙඩ වෙලා මැරෙනව.. ඒත් මිනීමැරුමක්.. අනික අපේම ගෙදරක.." පැවසූ ඈ සුසුමක් හෙලුවාය. හුනස්නෙන් නැඟී සිටි දර්ශන මෙතෙක් වේලා විවෘත ව තිබූ ඉදිරි දොර වසා අගුලු ලෑවේය. පසුව ජනේල එකින් එක වසන්නට විය. තිගැස්සී පුටුවෙන් නැඟී සිටි ඔහුගේ බිරිඳ ගෙතුළට දිව්වේ කඩි මුඩියෙනි. සුළු මොහොතකට පසු නැවත පැමිණි ඈ "දරුවන්ගෙ කාමරේ ජනෙල් වහලද බලන්න ගියේ.. ඇයි ඉතින් බයේ බෑනෙ.." යැයි පැවසුවාය. චක් හිස වනමින් තේ කෝප්පය අතට ගත්තේය. 

"ඒ ගෙදර දර්ශන මහත්තයලගෙ ගෙයක් කියල කණිෂ්ක මට කිව්වා.." තේ උගුරක් පානය කල චක් පැවසුවේ සංවාදයකට මුල පුරමිනි.

"කණිෂ්ක කිව්වේ..? " දර්ශන විමසුවේය.

"අර මිනීමැරුම සිද්ධ වෙච්ච තැන ගාඩ් එකට ඉන්න පොලීස් ඔෆිසර්.." චක් පිළිතුරු දූන්නේය.

"ආහ්.. ඔව්. මහත්තය. ඒක අපේ පරණ ගේ. දැන් මාස තුන හතරක් තිස්සෙ උඩවත්ත කියල මහත්තයෙකුට කුලියට දීල තිබුණෙ. ඒත් දැන් සතියකට කලින් ඒ මහත්තයයි දුවයි නොකියම යන්න ගිහිල්ලනෙ.."
මේ අලුත් පුවත අසා උනන්දු වූ චක් කෙළින් වී පුටුවෙහි හිඳ ගත්තේය. අනතුරුව තම තීක්ෂණ දෑස් දර්ශන වෙත යොමු කරමින් සවන් දෙන්නට විය.

"ඉතින් මේ උඩවත්ත කියන කෙනා කොහෙද ගියේ කියල දර්ශන මහත්තයල හොයල බැලුවෙ නැද්ද?"  හේ පැනයක් ද නැඟුවේ ය.

""අවුරුද්දකටම ඇඩ්වාන්ස් දීල තිබුණු නිසා අපි වැඩි හෙවිල්ලක් බැලිල්ලක් කෙරුවෙ නෑ.. අනික් එක ඒ මහත්තය කියල තිබුණෙ මෙහෙම හදිස්සියෙ යන්න වුණොත් කලබල වෙන්න එපා කියල.."
දර්ශන පැවසුවේය.

"කවුද හිතුවෙ මෙහෙම මිනියක් මරල පැනල ගිහින් කියල.. මට දුක අර අසරණ ගැහැනු දරුව ගැන.. ඒ මනුස්සයා කෙසේ වෙතත් ඒ දරුවා පව්.." 
පැවසූ දර්ශනගේ බිරිඳ අසුනින් නැඟී සිටියාය.






පළමු පරික්ෂාව

රහස් පරීක්ෂක චක් කුරුණෑගලට පැමිණෙන විට හවස පහ පමණ වී තිබුණි. ගමන් විඩාව පසෙක ලා හේ අපරාධ ස්ථානය වෙත ගියේය. ඒ වන විටත් වටින් ගොඩින් අඳුර ගලා ඒමට පටන්ගෙන තිබුණු අතර හාත්පස පරිසරය කඩින් කඩ ඇද හැලෙන වැස්ස නිසා තෙත ස්වභාවයක් ඉසිලීය. සපත්තු පැළඳි දෙපා තණකොල වැවූ පොළොව මත තබමින් ඇවිදින කල "චිරිස් චිරිස්" හඬ නැඟුවේය. මළසිරුර නැරඹීමට එක් රැස් වූ ජනකාය විසින් ගෙමිදුල එකම මඩ ගොහොරුවක් බවට පත් කර තිබුණි. 

තමා කුඩා අවදියේ කියැවූ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවල අපරාධ ස්ථානයට වෙනත් අය පැමිණ සාක්ෂි විනාශ කිරීම ගැන හෝම්ස් සෑමවිටම අකමැත්තක් දැක්වූ බව චක් සිහිකලේය. මිනීමරුවාගේ පා සළකුණු සොයාගැනීම කෙසේ වෙතත්, පා විලුඹ තෙක් මඩ තවරා නොගෙන නිවෙසට ගොඩ වීමටත් නොහැකි ආකාරයට ගෙමිදුල මඩ වී ඇත.  අඩිය තැබීමට මඩ නොවූ තැනක් සොයමින් මඳක් විපිළිසර වූ චක් වෙත ආයේ කණිෂ්ක නම් පොලිස් නිලධාරියා යි.

"මහත්තයා කවුද? මේක අපරාධයක් වෙච්ච තැනක්.. අවසර නැතුව එන්න බෑ.." යනුවෙන් පැවසූ කණිෂ්ක මොහොතක් චක් දෙස විමසිල්ලෙන් බැලීය. කණිෂ්ක වෙත තම හැඳුනුම්පත පෑ චක්, වටපිටාව දෙස නෙත් හෙලීය. "එන්න සර්.. මිනීමැරුම වුණේ ගේ ඇතුළෙ.." චක් අපරාධ පරීක්ෂකයෙකු බැව් හඳුනාගත් කණිෂ්ක ගරු සරු බවක් පළකරමින් චක්ව ගෙතුළට කැඳවීය. කණිෂ්ක වෙත මිත්‍රශීලී සිනාවක් පාමින් ඔහුගේ නම විමසා දැනගත් චක්, ගෙතුළට පා එසැවීය.

හවස පැමිණි අධිකරණ වෛද්‍යවරයා විසින් මළ සිරුර තවදුරටත් පරික්ෂා කෙරෙන බවත්, දැන් මළ සිරුර ඇත්තේ කුරුණෑගල මහජන රෝහලේ මෘත ශරීරාගාරයේ බවත්, ගමේ කිසිවෙකු මියගිය යුවතිය නොහඳුනන බව ප්‍රශ්නකිරීම් වලදී හෙළිදරව් වූ බවත් කණිෂ්ක පවසන්නට විය. මළසිරුර තිබුණු ස්ථානය සුදු පැහැ හුණු වලින් සලකුණු කොට තිබුණු අතර, මියගිය තරුණියගේ ගෙලෙහි වූ මරණීය තුවාලයෙන් ගලාගිය රුධිරයෙන් තෙත් වූ පලස තවමත් එහි විය. කුටියෙහි වූ අඩ අඳුර නිසා පරික්ෂා කිරීම පසු දිනට කල් දැමීමට චක් තීරණය කළේය.

චක්ට නවාතැන් හා ආහාර සැපයීමට නිවෙසේ අයිතිකරු වූ දර්ශන මහතා කැමැත්ත පළ කල බැව් කණිෂ්කගෙන් අසා දැනගත් චක් අසල්වාසී ඉඩමෙහි වූ කණිෂ්ක මහතා පදිංචි නිවස වෙත පියමැන්නේ ය.

දර්ශන චක් පිළිගත්තේ මහත් ගරු සරු ඇතිවය. කුරුණෑගල පොලිස් ස්ථානාධිපති උපුල් මහතා පැවසූ පරිදි චක් ඉතා දක්ෂ රහස් පරීක්ෂකයෙකි. නමුත් "චක්" යන නම දර්ශනව සිනා ගැන්වීමට සමත් විය. පළමුවෙන්ම ඔහුගේ සිහියට නැඟුණේ චක් නෝරිස් නම් නළුවෙකු රඟ පෑ රූපවාහිනී කතා මාලාවයි.

"නෑ නෑ.. චක් නෝරිස් නෙමෙයි." දර්ශනගේ දෙතොළ නැඟුණු මඳ සිනාවට හේතුව ඉවෙන් මෙන් වටහා ගත් උපුල් වහා පිළිතුරු දුන්නේය. "චක් කියල තමයි හැමෝම ඒ මහත්තයාව අඳුරන්නෙ.. ඇත්ත නම කවුරුත් දන්නෙ නැහැ.." යැයි පැවසීමට ද හේ අමතක නොකළේය. නිවෙසේ දොරකඩ සිටගෙන සිටි දැවැන්ත පුද්ගලයා චක් බව හඳුනාගැනීමට දර්ශන මහතාට හැකිවූයේ උපුල් විසින් සවස් කාලයේදී පෙන්වන්නට යෙදුණු ඡායාරූපය නිසාය.

චක්ට හිඳ ගැනීමට අසුනක් පැනවූ දර්ශන, අමුත්තාට තේ පිළියෙල කරන ලෙස සිය බිරිඳට දැන්වීමට නිවෙස තුළට පිය මැන්නේය. පුටුවෙහි හරි බරි ගැසුණු චක්, කල්පනාවට වැටුණේය.


පළායෑම

බ්ලැක් බියුටි කුරුණෑගලින් ඈත් වෙන්න ඈත් වෙන්න තාත්තාගෙ කලබල මුහුණ සන්සුන් වුණා. අපේ දුර ගමන් හැම එකක්ම මෙහෙමයි. එක තැනක ඉන්නකොට හැමතිස්සෙම වලිගෙ ගිනිගත්තු හනුමා වගේ ඉන්න තාත්තා, පාරෙදි හරිම සන්සුන්. විනෝදයි. ( පස්ස ගිනිගත්තු හනුමා කියල තාත්තට කිව්වෙ අපි කුරුණෑගල ඉන්නකොට නැවතිලා හිටපු ගෙදර අයිතිකාර දර්ශන මාමා බැඳල හිටපු නැන්දා.. එයා හරි හොඳයි. එක එක රස කෑම හදන විදිය කියලා දෙනවා මට.. මම එයා හදන අච්චාරු වලට හරිම ආසයි. ) 

තාත්තා එක්ක යන දුර ගමන් වලට ප්‍රිය කරන්න තවත් හේතුවක් තමයි රස කෑම.. අපිට නවතින්න කියල තැනක් හරියට නැති නිසා කෑම උයනවා අඩුයි. ටවුමක නතර කරලා කැමති දෙයක් අරන් කනවා. සමහර වෙලාවට තාත්තා බ්ලැක් බියුටිගෙ නම්බර් ප්ලේට් එක මාරු කරනකං මම තේ හදනවා. තාත්තා කියන්නෙ හැම ගමනකදිම නම්බර් ප්ලේට් මාරු කරන එක වැදගත් කියලයි. නැත්තම් මිනිස්සු අපිව සැක කරාවිලු. අන්න ඒකයි, අපි පැනල යනවා කියල මම කියන්නෙ.. ඒත් කාගෙන්ද? ඒක කවදාවත් තාත්තා උත්තර දෙන්නෙ නැති ප්‍රශ්නයක්. 

අපි නිතරම ගමනේ යෙදෙන නිසා මම ලංකාවෙ පාරවල් ගැන දන්නවා. අපි නුවර පාර දිගේ කුරුණෑගල ටවුම පැත්තට නෙමෙයි, නුවර පැත්තට ගියා. මාවතගම පහු කරල පරපේ පාරට දැම්මා. මීතැන්වල, වටරැක පහු කරගෙන නයෙක් වගේ පාලු පාරක් දිගේ රඹුක්කනට ආවා. ඊටපස්සෙ තෙත මඩ තියෙන කුඹුරු පහුකරගෙන, රූස්ස ගස් කොළන් වලින් වට වෙච්ච පාරක් දිගේ ඉස්සරහටම ගියා. එච්චර එළිමහනක් නැති තැනක බ්ලැක් බියුටි නතර කල තාත්තා දෙවැනි පාරටත් නම්බර් ප්ලේට් එක මාරු කලා. ඊට පස්සෙ වාහනේට නැගල ආයෙත් ඉස්සරහට යන්න ගත්තා. 

පින්නවල අලි අනාථාගාරය අසල තිබුණු හෝටලයක් ඉස්සරහ බ්ලැක් බියුටි නතර කරපු තාත්තා මාව වාහනේ ඇතුළෙම තියලා හෝටලේ ඇතුළට ගියා. ටික වෙලාවකින් සේවකයෙක් වගේ පෙනුණු කෙනෙක් සමඟ ආපහු ඇවිත් අපේ බඩු බාහිරාදිය හෝටලය ඇතුළට ගෙනියන්න පටන් ගත්තා. එහෙනම්, අපේ ඊළඟ නැවතුම කෑගල්ල.. මම මගේ පුංචි ලංකා සිතියම දිහා බලාගෙන හිතුවා. 

ඒත් මේක පුදුමයක්. අපි සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර ගමනෙ යෙදිලා තමයි නවතින්න තැනක් හොයාගන්නේ. අද එහෙම නෑ. මම පුදුමෙන් තාත්තා දිහා බල බල මගේ බෑග් එකකුත් අරන් සේවකයා පස්සෙන් යනවා..

රහස් පරීක්ෂක චක්

සිය නළල රැලි කරගත් රහස් පරීක්ෂක චක් දුරකථන ඇමතුමට සවන් යොමු කළේය. කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මේ දැන් ලද ඇමතුම, ඔහු කලක සිට බලාපොරොත්තුව සිටියකි. කොළපාට ඇස් ඇති මළ සිරුරක්.. කොළපාට ඇස්.. ඔහු නින්දේදී සිහිනෙන් දුටුවේද කොළපාට ඇස් ය. නිදි රහිත සෑම විටෙකම ඔහු පසු කර යන සෑම ස්ත්‍රී රුවකගේම දෑස් තුළ කොළපාට ඇස් සෙව්වේ ය. වසර 16ක් තිස්සේ ඔහුගේ ජීවිතයේ එකම අරමුණ වූයේ ඊළඟ කොළපාට ඇස් ඇති මිනිස් බිල්ල සොයා ගැනීමය. මේ වසරේත් එම ව්‍යායාමය අසාර්ථක වූ හැඩයි. චක් අපේක්ෂා භංගත්වයේ සුසුමක් හෙළුවේය.

ඔහුගේ කාර්යාල කාමරයේ බිත්තියේ අමුණා ඇති කොළපාට ඇස් යුගල 15හි ඡායාරූප එකතුවට තවත් දෑස් යුගලක් එකතු වනු ඇත. මේ සියල්ල පසුපස සිටින අමානුෂික ඝාතකයා සොයා ගැනීමට මෙවරත් හේ අසමත් විය. හිස ඔසොවා බැලූ කල, ජීවයෙන් තොර කොළපාට ඇස් යුග්ම පසළොසක් ඔහුව ගිල ගැනීමට බලා සිටින්නාක් මෙන් පෙනේ. ඔහුගේ හිස බමන්නට විය. ඇස් නිලංකාර විය. 

"අහිංසක මනුස්ස ජීවිත.." යැයි තමාටම කියාගනිමින් සුසුමක් හෙලූ හේ කොළපාට ඇස්වල ඡායාරූප වලට මෑතින් බිත්තියේ ගැසූ ලංකා සිතියමේ කුරුණෑගල දිස්ත්‍රික්කය රතු පැහැයෙන් වර්ණ ගැන්වූයේය. කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුරය, මොණරාගල, ගාල්ල, මාතර, යාපනය හා නුවර එළිය තවමත් සුදු පැහැයෙන් බබලද්දී දිස්ත්‍රික්ක 16ක් ලෝහිත පැහැයෙන් දිලෙමින් චක්ගේ සිරුර වෙවුළුවාලීමට සමත් විය.

වසර දාසය ක් තිස්සේ තමා විසින් ලුහුබඳිනු ලබන මේ මිනීමරුවා තවමත් නිදැල්ලේ ය යන හැඟීම ඔහුගේ සිත අසහනයට පත් කළේය. සෑම විටෙකම මිනීමරුවා රහස් පරීක්ෂක චක්ට පියවරක් ඉදිරියෙනි. 
ඒ සිතුවිල්ලත් සමඟ චක් සිය හිසකේ දෑතින් සිඳ ගත්තේය. වේදනාව දරා ගන්නට අපහසු වෙන තුරුම හිසකේ අදිමින් වද හිංසා පමුණුවා ගත්තේය. නොපෙනෙන ඉසව්වක වෙසෙන මිනීමරුවා තමා දෙස බලා සමච්චලයට සිනාවෙන්නාක් මෙන් චක්ට දැනුණි. හේ නිහඬව සපත්තු පැළද ගත්තේය. 
"කුරුණෑගල යන්න ඕනෙ.."

මළ සිරුර

නිවසට ඇතුළු වන ඉදිරිපස දොරට අඩි හතරක් පමණ ඈතින් සාලයේ හරි මැද උඩුකුරුව වැතිර තිබූ මළ සිරුර බිය එළවන සුළුය. මළ සිරුරේ මුහුණේ වූ කොළ පැහැ දෑස්.. ඔව් කොළ පැහැ දෑස්.. විවරව තිබුණු අතර, දෙතොල් දම් පැහැ වී තිබුණි. මරණීය වේදනාවෙන් කල දැඟලීම නිසා ගෙල, දෑත් හා දෙපා ඇඹරී තිබුණි. 

මිය ගිය කාන්තාව වයස අවුරුදු 25ක් 26ක් පමණ වන තරුණියක වූවාය. ඈ හැඳ සිටියේ දුඹුරු පැහැ කෙටි සායක් හා ටී ෂර්ට් එකකි. පැහැපත් සමක් තිබූ ඇගේ කොණ්ඩය උරහිසට වනතෙක් කොටට කපා තිබුණු අතර, කළු පැහැ හිසකෙස් මුහුණ දෙපසින් වැටී තිබුණි. ගෙලට ඇමිනුණු තියුණු පිහියකින් ගැලූ ලේ ඇගේ හිස කෙස් තෙත් කරමින් ඈ වැතිර සිටි පලස මතට ගලා ගොස් තිබුණි.

ඒ නිසල සිරුරේ ජීවය බිඳකුදු ඉතිරිව නැති බව බැලූ බැල්මට තහවුරු කරගත් උපුල්, මළසිරුරේ ජීවය රහිත කොළපාට දෑස් වෙත නැවතත් ඇස් යොමු කළේ ය.

කොළපාට ඇස්.. හරි අමුතුයි. මේ ලංකාවෙ..? කොළ ඇස්.. එසේ සිතමින් තම ජංගම දුරකථනය ගෙන කිසියම් අංකයකට ඇමතුවේය. "මම උපුල්, කොළපාට ඇස් තියෙන කාන්තා මළසිරුරක් කුරුණෑගලිනුත් හම්බුණා.."

මිනීමැරුමක්

කුරුණෑගල පොලිස් ස්ථානය
2012 මාර්තු 23 වැනිදා 
උදෑසන 10.43

2012 මාර්තු 23 වැනි දින උදෑසන කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන ඇමතුම සැවොම විස්මයට හා තිගැස්මට පත් කිරීමට සමත් විය. දිවිනසා ගැනීම්, පිහි ඇනුම්, රණ්ඩු සරුවල් ගැන පැමිණිලි කෙසේ වෙතත් මිනීමැරුමක් ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකින් බැවිනි. දුරකථන ඇමතුම ලබා ගත් පොලිස් නිලධාරිනිය දෙවන, තෙවන වරටත් ඈ වටා රොක්ව සිටි සහෝදර නිලධාරීන්ට ඇමතුම විස්තර කරමින් සිටියා ය. නවක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මේ අරුමැති සිද්ධිය අසා උද්‍යෝගිමත් ව සිටියහ. 

එතැනට පැමිණි පොලිස් ස්ථානාධිපති තුමා වූ උපුල් ඒකනායක මහතාගේ ගැඹුරු කටහඬ පැණි හැලියට වහ වැටුණු කුහුඹු රැලක් මෙන් අලුත් ආරංචිය රස විඳිමින් හුන් පොලිස් නිලධාරීන් දෙපසට කිරීමට සමත් විය. 

"සාජන්ට් මේනකා, පීසී කණිෂ්ක, පීසී ලහිරු.. ලෑස්ති වෙන්න ක්‍රයිම් ඒරියා එකට යන්න මාත් එක්ක.. අනෙක් අය කතාව නවත්තල වැඩ කරන්න.."
උපුල් ඒකනායක මහතාගේ විධානයට අනෙක් පොලිස් නිලධාරීන් යුහුසුලු ව කීකරු වූහ.

කුරුණෑගල, පිලැස්ස නුවර පාරේ අංක 10 දරණ නිවස
2012 මාර්තු 23 වැනිදා
උදෑසන 11.27

පොලිස් ජීප් රියෙන් බිමට බට නිලධාරීන් තිදෙනා හා කාන්තා පොලිස් නිලධාරිනිය, ගෙමිදුලේ රැස් කමින් සිටි සෙනඟ අතරෙන් ඉදිරියට ඇදුනහ. එක පොදියට තෙරපෙමින් මළ සිරුර දැක ගැනීමට උත්සාහ දරන මිනිස් ගඟ දුටු වනම, උපුල් කෝපයෙන් වෙවුලා ගියේය. 
"මිදුලෙ, වත්තෙ පිටියෙ තිබ්බ අඩි සලකුණු ඔක්කොම මේ මිනිස්සු පාගල, මකල දාල ඇති.." 
යන අදහස හිතට නැඟුණු බැවිනි.

සෙනඟ කාරුණිකව පලවා හරින මෙන් කණිෂ්කට හා ලහිරුට දැනුම් දුන් උපුල් නිවෙස ඉදිරියේ සිටගෙන රැස් වූ අයට කරුණු පැහැදිලි කරමින් සිටි තලතුනා මහතෙක් වෙත ගමන් කළේය. සෙස්සන්ට වඩා යමක් කමක් වැටහෙන පෙනුමක් තිබූ හේ, උපුල් මහතා දැක තිගැස්සී ඉදිරියට පිනුයේ "මහත්තයා ආවාද? මම තමා කෝල් එක දුන්නේ.. මං මෙහෙ ග්‍රාමසේවක. ප්‍රසන්න කෝදාගොඩ.." කියමිනි.

ප්‍රසන්නගේ උරහිසට මිත්‍රශීලී තට්ටුවක් දැමූ උපුල්, "කෝ..  කොහෙද බොඩි එක තියෙන්නෙ?" යැයි විමසුවේය. ප්‍රසන්න දකුණතෙන් සන් කරමින් කඩි මුඩි ගමනින් ගෙතුළට පියමැන්නේය. උපුල් හා මේනකා ඔහු පසුපසින් ඇවිද ගියහ. 

නිවෙසේ සාලය මැද ජීවය රහිත කාන්තා මළ සිරුරක් වැතිර තිබුණි.

Tuesday, January 10, 2017

ඔත්තු බලන්නිය

කළු පැහැති ජීප් රථය ප්‍රධාන මාර්ගයට ඇදෙන අයුරු බලා සිටි නෙත් යුවළකි. කොළ පැහැ තීක්ෂණ නෙත් යුවළ තුරු පත් අතරින් ඈත ඇදෙන ජීප් රථය වෙත යොමා, මේ ඇස් හිමිකාරිය ඉවසිල්ලෙන් බලා සිටියාය. ඇගේ අක්‍රමවත් හද ගැස්ම ඇයටම ඇසෙන තරම් නිශ්ශබ්දව.. නිසොල්මන්ව.. යොවුන් දැරිය හා මැදි වියේ මිනිසා ඉතා කලබලයෙන් කිසියම් දෙයකට සූදානම් වන අයුරු ඇගේ දෑසට හසු වී තිබුණි. ඉන් අනතුරුව ඈ සැක කල පරිදිම ඔවුහු කළු පැහැ ජීප් රියේ නැඟී නික්ම ගියහ. දැන් ඇගේ වාරයයි.

තුරු පත් අතරින් රූරා හිස මත පතිත වන පිණි බිඳුවලින් බේරීමට හැඳ සිටි කමිසයේ කොලරය ඔසවා හිස ආවරණය වන පරිදි ඔතා ගත් ඈ, තම දෙපා හුදෙකලා නිවස වෙත එසැවීමට පෙර මොහොතක් විපිළිසර වූවා ය. කොළ පැහැ විශාල දෑස් පරික්ෂාකාරීව ඈත මෑත කලබලයෙන් යොමු කළා ය. සිතේ ඇති වූ තිගැස්ම හේතුවෙන් වියැළුණු දෙතොල් කලබලයෙන් තෙමා ගත්තා ය. අනතුරුව හනි හනික ගෙතුළට පියමන් කළා ය.

නිවැසි දැරිය හා ඔහුගේ පියා වෙනතක ගිය බැවින්, නිවස තුළ අවදානමක් නැත. නමුත්, නිවසෙන් පිටත පරිසරය ඈ තුළ තිගැස්මක් ඇති කිරීමට සමත් විය. ගොම්මන් අඳුර, තෙත තණකොළ, තුරු සෙවණැලි හා වැස්ස ඈව අසහනයට පත් කරයි. දිගු දෙපා තණකොළ මත තබමින් පළමුව කඩිසරව නිවෙස වෙත ඇදුණු ඇය , නිවෙස ළං වත්ම දිගු පියවර තබමින් එදෙසට දුවන්නට පටන් ගත්තා ය. හරියට කිසියම් අන්තරායක් ඈ පසුපස ලුහු බඳින්නාක් මෙන්..

කලබලයෙන් නිවෙසින් පිට වී ගිය මැදිවියේ මිනිසා හා යොවුන් දැරිය නිවෙස අගුළු ලෑමටවත් කරදර වී නොතිබුණි. ඔත්තු බැලූ දෑසේ හිමිකාරිය සිය කුඩා දෑත් හදිසියෙන් දොර අගුල මත තැබුවා ය. විවර වූ දොරෙන් නිවෙස ඇතුළට පැන ගත් ඈ හනික දොර අගුළු ලෑවා ය. අනතුරුව නිවෙසේ අඳුරු මුල්ලක් සොයා දිව ගොස් සැඟ වී හති ලන්නට වූවා ය. එළිමහනේ අන්තරායයෙන් ගැළවුණු බව සිතා සැනසුම් සුසුම් හෙළුවා ය.

මඳ වේලාවකට පසු නිවෙස තුළින් නැඟුණු ඔත්තු බලන්නියගේ මරණීය විලාපය තුරු පතර සසල කරන්නට සමත් විය.