තරමක් වේලා ගතවූ පසු දර්ශන නැවතත් විසිත්ත කාමරයට පැමිණියේය. ඔහුට පිටුපසින් පැමිණි දර්ශනගේ බිරිඳ චොක්ලට් බිස්කට් ඇසිරූ තසිමක් වෙවුලන දෑතින් චක් වෙත පෑවාය. ඈ අත වූ බන්දේසියේ තේ කෝප්ප දෙකක් විය. බන්දේසිය චක් ඉදිරියේ වූ ටීපෝව මත තැබූ ඇය දර්ශන හිඳ සිටි පුටුවට පසෙකින් හිඳ ගත්තාය. සිදුව ඇති අපරාධයෙන් ඈ භීතියෙන් සසලව ඇති බවක් දිස්විය.
"අම්ම මුත්තා කාලෙවත් මෙහෙම දෙයක් වෙලා නෑනෙ අපේ ගමේ.. මිනිස්සු වයසට ගිහින් මැරෙනව, ලෙඩ වෙලා මැරෙනව.. ඒත් මිනීමැරුමක්.. අනික අපේම ගෙදරක.." පැවසූ ඈ සුසුමක් හෙලුවාය. හුනස්නෙන් නැඟී සිටි දර්ශන මෙතෙක් වේලා විවෘත ව තිබූ ඉදිරි දොර වසා අගුලු ලෑවේය. පසුව ජනේල එකින් එක වසන්නට විය. තිගැස්සී පුටුවෙන් නැඟී සිටි ඔහුගේ බිරිඳ ගෙතුළට දිව්වේ කඩි මුඩියෙනි. සුළු මොහොතකට පසු නැවත පැමිණි ඈ "දරුවන්ගෙ කාමරේ ජනෙල් වහලද බලන්න ගියේ.. ඇයි ඉතින් බයේ බෑනෙ.." යැයි පැවසුවාය. චක් හිස වනමින් තේ කෝප්පය අතට ගත්තේය.
"ඒ ගෙදර දර්ශන මහත්තයලගෙ ගෙයක් කියල කණිෂ්ක මට කිව්වා.." තේ උගුරක් පානය කල චක් පැවසුවේ සංවාදයකට මුල පුරමිනි.
"කණිෂ්ක කිව්වේ..? " දර්ශන විමසුවේය.
"අර මිනීමැරුම සිද්ධ වෙච්ච තැන ගාඩ් එකට ඉන්න පොලීස් ඔෆිසර්.." චක් පිළිතුරු දූන්නේය.
"ආහ්.. ඔව්. මහත්තය. ඒක අපේ පරණ ගේ. දැන් මාස තුන හතරක් තිස්සෙ උඩවත්ත කියල මහත්තයෙකුට කුලියට දීල තිබුණෙ. ඒත් දැන් සතියකට කලින් ඒ මහත්තයයි දුවයි නොකියම යන්න ගිහිල්ලනෙ.."
මේ අලුත් පුවත අසා උනන්දු වූ චක් කෙළින් වී පුටුවෙහි හිඳ ගත්තේය. අනතුරුව තම තීක්ෂණ දෑස් දර්ශන වෙත යොමු කරමින් සවන් දෙන්නට විය.
"ඉතින් මේ උඩවත්ත කියන කෙනා කොහෙද ගියේ කියල දර්ශන මහත්තයල හොයල බැලුවෙ නැද්ද?" හේ පැනයක් ද නැඟුවේ ය.
""අවුරුද්දකටම ඇඩ්වාන්ස් දීල තිබුණු නිසා අපි වැඩි හෙවිල්ලක් බැලිල්ලක් කෙරුවෙ නෑ.. අනික් එක ඒ මහත්තය කියල තිබුණෙ මෙහෙම හදිස්සියෙ යන්න වුණොත් කලබල වෙන්න එපා කියල.."
දර්ශන පැවසුවේය.
"කවුද හිතුවෙ මෙහෙම මිනියක් මරල පැනල ගිහින් කියල.. මට දුක අර අසරණ ගැහැනු දරුව ගැන.. ඒ මනුස්සයා කෙසේ වෙතත් ඒ දරුවා පව්.."
පැවසූ දර්ශනගේ බිරිඳ අසුනින් නැඟී සිටියාය.






