Wednesday, January 11, 2017

රහස් පරීක්ෂක චක්

සිය නළල රැලි කරගත් රහස් පරීක්ෂක චක් දුරකථන ඇමතුමට සවන් යොමු කළේය. කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් මේ දැන් ලද ඇමතුම, ඔහු කලක සිට බලාපොරොත්තුව සිටියකි. කොළපාට ඇස් ඇති මළ සිරුරක්.. කොළපාට ඇස්.. ඔහු නින්දේදී සිහිනෙන් දුටුවේද කොළපාට ඇස් ය. නිදි රහිත සෑම විටෙකම ඔහු පසු කර යන සෑම ස්ත්‍රී රුවකගේම දෑස් තුළ කොළපාට ඇස් සෙව්වේ ය. වසර 16ක් තිස්සේ ඔහුගේ ජීවිතයේ එකම අරමුණ වූයේ ඊළඟ කොළපාට ඇස් ඇති මිනිස් බිල්ල සොයා ගැනීමය. මේ වසරේත් එම ව්‍යායාමය අසාර්ථක වූ හැඩයි. චක් අපේක්ෂා භංගත්වයේ සුසුමක් හෙළුවේය.

ඔහුගේ කාර්යාල කාමරයේ බිත්තියේ අමුණා ඇති කොළපාට ඇස් යුගල 15හි ඡායාරූප එකතුවට තවත් දෑස් යුගලක් එකතු වනු ඇත. මේ සියල්ල පසුපස සිටින අමානුෂික ඝාතකයා සොයා ගැනීමට මෙවරත් හේ අසමත් විය. හිස ඔසොවා බැලූ කල, ජීවයෙන් තොර කොළපාට ඇස් යුග්ම පසළොසක් ඔහුව ගිල ගැනීමට බලා සිටින්නාක් මෙන් පෙනේ. ඔහුගේ හිස බමන්නට විය. ඇස් නිලංකාර විය. 

"අහිංසක මනුස්ස ජීවිත.." යැයි තමාටම කියාගනිමින් සුසුමක් හෙලූ හේ කොළපාට ඇස්වල ඡායාරූප වලට මෑතින් බිත්තියේ ගැසූ ලංකා සිතියමේ කුරුණෑගල දිස්ත්‍රික්කය රතු පැහැයෙන් වර්ණ ගැන්වූයේය. කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුරය, මොණරාගල, ගාල්ල, මාතර, යාපනය හා නුවර එළිය තවමත් සුදු පැහැයෙන් බබලද්දී දිස්ත්‍රික්ක 16ක් ලෝහිත පැහැයෙන් දිලෙමින් චක්ගේ සිරුර වෙවුළුවාලීමට සමත් විය.

වසර දාසය ක් තිස්සේ තමා විසින් ලුහුබඳිනු ලබන මේ මිනීමරුවා තවමත් නිදැල්ලේ ය යන හැඟීම ඔහුගේ සිත අසහනයට පත් කළේය. සෑම විටෙකම මිනීමරුවා රහස් පරීක්ෂක චක්ට පියවරක් ඉදිරියෙනි. 
ඒ සිතුවිල්ලත් සමඟ චක් සිය හිසකේ දෑතින් සිඳ ගත්තේය. වේදනාව දරා ගන්නට අපහසු වෙන තුරුම හිසකේ අදිමින් වද හිංසා පමුණුවා ගත්තේය. නොපෙනෙන ඉසව්වක වෙසෙන මිනීමරුවා තමා දෙස බලා සමච්චලයට සිනාවෙන්නාක් මෙන් චක්ට දැනුණි. හේ නිහඬව සපත්තු පැළද ගත්තේය. 
"කුරුණෑගල යන්න ඕනෙ.."

No comments:

Post a Comment