කළු පැහැති ජීප් රථය ප්‍රධාන මාර්ගයට ඇදෙන අයුරු බලා සිටි නෙත් යුවළකි. කොළ පැහැ තීක්ෂණ නෙත් යුවළ තුරු පත් අතරින් ඈත ඇදෙන ජීප් රථය වෙත යොමා, මේ ඇස් හිමිකාරිය ඉවසිල්ලෙන් බලා සිටියාය. ඇගේ අක්‍රමවත් හද ගැස්ම ඇයටම ඇසෙන තරම් නිශ්ශබ්දව.. නිසොල්මන්ව.. යොවුන් දැරිය හා මැදි වියේ මිනිසා ඉතා කලබලයෙන් කිසියම් දෙයකට සූදානම් වන අයුරු ඇගේ දෑසට හසු වී තිබුණි. ඉන් අනතුරුව ඈ සැක කල පරිදිම ඔවුහු කළු පැහැ ජීප් රියේ නැඟී නික්ම ගියහ. දැන් ඇගේ වාරයයි.
තුරු පත් අතරින් රූරා හිස මත පතිත වන පිණි බිඳුවලින් බේරීමට හැඳ සිටි කමිසයේ කොලරය ඔසවා හිස ආවරණය වන පරිදි ඔතා ගත් ඈ, තම දෙපා හුදෙකලා නිවස වෙත එසැවීමට පෙර මොහොතක් විපිළිසර වූවා ය. කොළ පැහැ විශාල දෑස් පරික්ෂාකාරීව ඈත මෑත කලබලයෙන් යොමු කළා ය. සිතේ ඇති වූ තිගැස්ම හේතුවෙන් වියැළුණු දෙතොල් කලබලයෙන් තෙමා ගත්තා ය. අනතුරුව හනි හනික ගෙතුළට පියමන් කළා ය.
නිවැසි දැරිය හා ඔහුගේ පියා වෙනතක ගිය බැවින්, නිවස තුළ අවදානමක් නැත. නමුත්, නිවසෙන් පිටත පරිසරය ඈ තුළ තිගැස්මක් ඇති කිරීමට සමත් විය. ගොම්මන් අඳුර, තෙත තණකොළ, තුරු සෙවණැලි හා වැස්ස ඈව අසහනයට පත් කරයි. දිගු දෙපා තණකොළ මත තබමින් පළමුව කඩිසරව නිවෙස වෙත ඇදුණු ඇය , නිවෙස ළං වත්ම දිගු පියවර තබමින් එදෙසට දුවන්නට පටන් ගත්තා ය. හරියට කිසියම් අන්තරායක් ඈ පසුපස ලුහු බඳින්නාක් මෙන්..
කලබලයෙන් නිවෙසින් පිට වී ගිය මැදිවියේ මිනිසා හා යොවුන් දැරිය නිවෙස අගුළු ලෑමටවත් කරදර වී නොතිබුණි. ඔත්තු බැලූ දෑසේ හිමිකාරිය සිය කුඩා දෑත් හදිසියෙන් දොර අගුල මත තැබුවා ය. විවර වූ දොරෙන් නිවෙස ඇතුළට පැන ගත් ඈ හනික දොර අගුළු ලෑවා ය. අනතුරුව නිවෙසේ අඳුරු මුල්ලක් සොයා දිව ගොස් සැඟ වී හති ලන්නට වූවා ය. එළිමහනේ අන්තරායයෙන් ගැළවුණු බව සිතා සැනසුම් සුසුම් හෙළුවා ය.
මඳ වේලාවකට පසු නිවෙස තුළින් නැඟුණු ඔත්තු බලන්නියගේ මරණීය විලාපය තුරු පතර සසල කරන්නට සමත් විය.

No comments:
Post a Comment